Sunday 3 March 2013

අසීසියේ දිළින්දා I


හා හා පුරා කියලා පටන් ගන්න යන්නේ මගේ බ්ලොගයේ පළමු ලිපිය. මේ මම ආසම කරන සාන්තුවරයෙක්. සාන්තුවරයෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් මෙතනින් ගිහිල්ලා බලලා එන්න.

අසීසියේ දිළින්දා නැත්නම් අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිතුමා ගැන තමා මේ කියන්න යන්නේ.

ප්‍රැන්සිස් කියන්නේ පියෙත්‍රෝ දි බෙර්නාර්දෝනේ (Pietro di Bernardone) සහ පීකා (Pica) ගේ දරුවන් හත්දෙනා ගෙන් කෙනෙක්. පොහොසත් රෙදි ව්‍යාපාරිකයෙක් වුණ පියෙත්‍රෝ, 1182 වසරේ  අසීසියේ දී ප්‍රැන්සිස් ඉපදෙන කොට, ව්‍යාපාර කටයුත්තක් සඳහා ප්‍රංශයට ගොස් හිටියා. ඒ අතරේ පීකා, තම දරුවාව ජොවන්නි (Giovanni) හෙවත් ජුවාම් ලෙස බෞතිස්ම කෙරුවා. ව්‍යාපාර කටයුතු අවසන් වී නැවත පැමිණි පියෙත්‍රෝ තම දරුවාව දැක සතුටු වෙලා ඔහුව ඇමතුවේ 'ෆ්‍රන්චෙස්කෝ' (Francesco) හෙවත් 'ප්‍රංශ ජාතිකයා' ලෙසයි. මෙයට හේතුව සමහර විට පියෙත්‍රෝ ගේ ව්‍යාපාර සාර්ථකත්වය සහ ප්‍රංශය කෙරෙහි දැක්වූ ලැදියාව බලපාන්නට ඇති.

ෆ්‍රන්චෙස්කෝ හෙවත් ප්‍රැන්සිස් (ඉංග්‍රීසියෙන් Francis), තෲබදූර් (Troubadour) ලා කෙරෙහි වගේම ප්‍රංශ ජාතික දේ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවා. ඔහු ප්‍රංශ භාෂාව හොඳින් දැනගෙන සිටියේ නැතත්, ප්‍රංශ භාෂාව කථා කිරීමට දැඩි කැමැත්තක් දැක්වූ බව සඳහන්. කුඩා කාලයේ සිටම ගීත ගායනයට සහ සංගීතයට විශේෂ කැමැත්තක් දැක්වූ ප්‍රැන්සිස් කෙළිලොල් දිවියක් ගත කළා. තරුණ වියට එළඹීමත් සමඟ පියාගේ මුදල් අතමිට ගැවසීමත්, පොහොසත් මිතුරන් ආශ්‍රයත් ඔහුට ගෙන ආවේ විනෝදකාමි නිෂ්ඵල දිවියක්.

යුධ භටයකු වීමට සිහින මැවූ ප්‍රැන්සිස්, 1202 වසරේ දී අසීසිය, පෙරූජියාව සමඟ ඇති වූ යුද්ධයට සම්බන්ධ වෙන අතර එහිදී වසරක පමණ කාලයක් සිරකරුවකු වන්නට සිදුවනවා. නිදහස් වී පැමිණ ටික දවසකින් ප්‍රැන්සිස් බලවත් ලෙස රෝගාතුර වෙනවා. සුවය ලැබීමෙන් පසු 1205 වසරේ දී බ්‍රියන්නේ සිටුවරයා (Count of Brienne) ගේ හමුදාවට එක්වීම සඳහා පූලියා (Puglia) බලා යන අතර, මඟදී දකින අනපේක්ෂිත දර්ශනයක් සමඟ නැවත අසීසිය බලා හැරී එනවා.

මෙම සිද්ධියෙන් පස්සේ ඔහුගේ ජීවිතය විශාල වෙනසකට ලක්වෙන අතර ඔහු තමාගේ කෙළිලොල් දිවිය නතර කොට තැන්පත් දිවියක් ගත කරනවා. මේ වෙනස දකින ඔහුගේ මිතුරන් ඔහු විවාහ වන්නට යන්නේ දැයි සමච්චලයට වගේ අසන විට, ඔහු එයට මෙසේ පිළිතුරු දෙනවා. "ඔවු, ඔබ මීට පෙර කවමදාවත් දැක නොමැති ඉතා ලස්සන මනාළියක්." ඔහු මෙයින් අදහස් කරන්නේ 'දුප්පත්කම නමැති කන්‍යාව' යි. හුදකලාව ගත කරන ඔහු භාවනාවට වැඩි කාලයක් වැය කරනවා.

සාන්ත දමියානෝ දෙව්මැදුර
දිනක් අසීසියේ ම පිහිටි සාන්ත දමියානු දෙව්මැදුරේ යාච්ඤා කරන විට, එහි තිබූ කුරුසියෙන් ඔහුට "ප්‍රැන්සිස්, ප්‍රැන්සිස්, මගේ නිවහන කඩා වැටෙන්නට යනවා ඔබට පෙනෙන්නේ නැද්ද? එය ප්‍රතිසංස්කරණය කරන්න" යැයි හඬක් ඇසෙනවා. ඒ අවස්ථාවේ ඔහුට දිස්වෙන්නේ ගරා වැටෙමින් පවතින දෙව්මැදුර යි. ඒ මොහොතේ පටන් ඔහු මෙම දේවස්ථානය පිළිසකර කරන්නට වෙහෙසෙනවා. 

තම පුතාගේ සිදුවන මෙම වෙනස දකින පියෙත්‍රෝ, මෙය කෙසේ හෝ නවත්වන්නට උත්සාහ ගන්නවා. ප්‍රථමයෙන් තර්ජන මඟින් ද, ඉන්පසු දඬුවම් කිරීමෙන් ද බැරිවෙන අවස්ථාවේ පියෙත්‍රෝ ප්‍රදේශයේ රදගුරු තුමාගේ සහාය පතනවා. රදගුරු තුමා ඉදිරියට පමුණුවනු ලැබූ අවස්ථාවේ දී, ප්‍රැන්සිස්, පියාගේ සියළු දේ ප්‍රතික්ශේප කරමින් තමාගේ සියළු ඇදුම් ද උනා දමා සුබාසියෝ කන්දට (Mount Subasio) යනවා. මේ අවස්ථාවේ දී රදගුරු තුමා තමාගේ උතුරු සළුව විළි වසා ගැනීමට ප්‍රැන්සිස් ට ලබා දෙනවා.

Porziuncola
මාස දෙකක් පමණ හිඟන්නෙක් ලෙස අසීසි ප්‍රදේශයේ ගතකරන ප්‍රැන්සිස්, ඉන්පසු ගම්බද ප්‍රදේශයට ගොස් දෙව්මැදුරු කිහිපයක් පිළිසකර කරනවා. මේ අතර පසු කාලයේ දී ඔහු බොහෝ සෙයින් ඇළුම් කළ පෝර්සියුන්කෝලා (Porziuncola) හෙවත් දේවදූතයින් ගේ මරියාව නමැති කුඩා දෙව්මැදුර (Chapel of St. Mary of the Angels) ද විය.

ඊට පස්සේ ප්‍රැන්සිස් ට මොකද වුනේ කියන එක දෙවන කොටසෙන් බලාපොරොත්තු වන්න.





මූලාශ්‍ර: 
  • සුරලොව දිනුවෝ, නිර්මාල් මධුශංක, 2006.
  • "Francis of Assisi, Saint." Encyclopædia Britannica. Encyclopædia Britannica Ultimate Reference Suite.  Chicago: Encyclopædia Britannica, 2011.
  • http://en.wikipedia.org/wiki/Francis_of_Assisi
  • http://www.catholic.org/saints/saint.php?saint_id=50
  • http://www.newadvent.org/cathen/06221a.htm


ප.ලි: සියළුම ඦායාරූප ගනු ලැබුවේ Google Search මඟිනි.

14 comments:

  1. අසීසියේ ශු. ෆ්‍රැන්සිස් මුනිතුමා සොබාදහමට බොහොම ලැදියාවක් දැක්වූ බව තමයි මම අහලා තියෙන්නෙ..

    ඊළඟ කොටස එනතුරු බලා ඉන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔවු, එතුමා සොබාදහමට බොහෝ ලැදියාවක් දැක්වූවා. ඊලඟ කොටසින් ඒ ගැන දැන ගන්න ලැබෙයි.

      Delete
    2. ලිපි ලිව්වාම මේ තැන් දෙකේ දාන්න.

      http://www.facebook.com/groups/192579577425984/

      http://www.facebook.com/groups/iamablogreader/

      Delete
  2. //..මඟදී දකින අනපේක්ෂිත දර්ශනයක් සමඟ නැවත අසීසිය බලා හැරී එනවා....//

    මොකක්ද මේ සිදුවීම ??

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම මේක ලිපියටම ඇතුල් කරන්න හිටියත් ඒක අමතක වුනා. මොකද මේ සිද්ධිය හරියටම දැන ගත්තේ ලිපිය අවසාන අවධියෙයි.

      ප්‍රැන්සිස් සිහිනෙන් දැක තිබෙනවා ඔහුගේ නිවස ආයුධ සම්පන්න බලකොටුවක් ලෙස, ඒ වගේම සන්නාහ පලක් පවුර වටා එල්ල තිබෙනවා. එවිට කටහඬක් ඇසී තිබෙනවා මෙම පලක ඔහුට සහ ඔහුගේ සඟයන්ට කියා. නයිට් වරයෙක් වෙලා කීර්තියක් ලබන්න හිතපු ප්‍රැන්සිස් මෙම සිද්ධියත් එක්ක හිතලා තියෙනවා මේ තමාගේ ජයග්‍රහනය තමා දැක්කේ කියලා. නමුත් ඔහු පසුදින රෝගී වෙනවා. එසේ සිටින විට ඔහුට නැවතත් කටහඬක් ඇසෙනවා "නැවත හැරී ගොස් මිනිසාට වඩා ස්වාමියාට සේවය කරන්න" කියලා.

      Delete
  3. ada thamai awe gihan..
    digatama liyanna..ennam ha,madama balanna...

    faloth kara...

    wish u d best...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට.
      පුළුවන් උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා.

      Delete
  4. //හුදකලාව ගත කරන ඔහු භාවනාවට වැඩි කාලයක් වැය කරනවා.//

    ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ නිදහස ඇති කියලා හිතෙන හන්දයි අහන්නේ.:)

    මේ විදියට 'භාවනා කිරීම' මෑත කාලෙත් අනුගමනය කරනවද?

    ReplyDelete
  5. ප්‍රශ්න ඇසීමට කිසිම බාධාවක් නෑ. තේරෙන්නෙ නැති ඕනම දෙයක් පැහැදිළි කර ගැනීම පාඨකයාගේ අයිතියක් වගේම, එය පැහැදිළි කර දීම රචකයාගේ යුතුකමක් සහ වගකීමක්.

    //මේ විදියට 'භාවනා කිරීම' මෑත කාලෙත් අනුගමනය කරනවද?/

    ඔව් මේ ආකාරයට භාවනායෝගීව යාච්ඤාවේ යෙදෙන තාපසාරාම තවමත් තිබෙනවා.

    ReplyDelete
  6. හොද ලිපියක් දිගටම ලියන්න අපි එනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  7. St. Francis of Assisi, Pray for us. Amen.

    ReplyDelete